2015-09-08

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(2)

         
එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් ඇත්තන්ට වඩා දැනුම ප්‍රියකරන්නන් සදහා එම ආයතනය වෙන් කරන සෑදෑවක් ලෙසටය.
පෙරකී ඇය සමග මා නොවරදවාම එම සැදෑවට සහභාගිවීම පුරුද්දක් කොට ගෙන තිබුනාය. සෑබෑ මිතුරන් පිලිබදව එක්තරා සාහිත්‍ය සටහනකින් මතකයට රිංගා ගෙන තිබූ කියැවුමක් සත්‍ය බව එහිදී මා හොඳින් පසක් කර ගතිමි. ” සැබෑ මිතුරන් හට හෝරා ගනන් දොඩමලු වන්නට හැකිවා සේම හෝරා ගනන් එකිනෙකා නොදොඩමින් උවත් එකට කාලය ගත කරන්නට හැකිය” යන්නය. විටක අඩ අඳුරු ගන්නා මේසයන් වටා අප වාඩි වී සිටියෙමු. හෝරා ගනන් අප දොඩමලුව සිටියෙමු. නෙක විද්‍යාවන් පමනක් නොව සංගීතය , වේදිකා නාට්‍ය, වනි නෙක මාතෘකා අතර දෙබසින් ඔබ මොබ ඇවිද්දෙමු. එනමුත් කිසිදු කායික ලංවීමකට උත්සාහ නොකලෙමු. ඉඳ හිටක මතුවන එවන් හැගීමක් පවා ඉක්මවන සංහිඳියාවකට අප මිත්‍රත්වය පිවිස තිබිනි. ජීවිතයේ සමහර දෑ තර්කය ඔස්සේ විමසන්නට තැත්කිරීම මහත් විසුලු ස්වරූපයක් කැදවීමක් වෙ. මිනිස් සබඳතා විෂයෙහි මෙම තත්වය වඩාත් සතයයක්ව හමුවේ. මිනිසෙක් තවත් මිනිසෙකුගේ බුද්ධියට ආදරවීම, චතුර බවට ආදරකිරීම , රසවින්දනයට ආදරයවීම වැනි නෙක පැහැ ඒ ආකාරයට තේරුම් ගැනීමට හරිම අපූරුය. සියලු මිනිස් සබඳතා කිසියම් ආකාරයක ලාබදායී ගනුදෙනුවක් ලෙසට ලඝු කරලන්නට අවශ්‍ය වීම පැහැදිලිව තේරුම් නොගත් වෙළඳ පොල කරනය විචාරයකින් තොරව ජීවිතයට වද්දා ගැනීමට උත්සාහකිරීමකි. “සංහිඳියාව අහිමි කර ගැනීම. ජීවිතයෙන් භාගයක් මරනයට පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා ගේ වචන සටහන් නැවත නැවත ජිවිතයට පැමිනීම විසිතුරු අත්දැකීමකි.
එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත් මා නොවිදි අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් ලැබිනි. එම සටහන කඳුලු වසා ගන්නට ගත් අසීරු සටහනක් විය. “අප සමුගෙන යා යුතුය. වඩාත් නැවුම් නැවත හමුවකට නම් සමුගෙන යා යුතුවම ඇත. එම සිදුවීම ඔබට දැනෙන්නේ වේදනාවක් ලෙසටද වඩාත් විවෘත බලාපොරොත්තුවක් ලෙසටද යන්න ඉහත වන තේරීම මත වනු ඇත”. සුපුරුදු අවන්හලෙහි සිකුරාදාවක සැදෑවක් එම අවසන් හමුවට වෙන් වෙමින් පැමින තිබිනි. ඉන්දියානු විස්මිත ස්වර පබදින්නෙකුවූ රවීශන්කර් සංගීත වේදියානන්ගේ දියනියගේ රසවත් තත් හැඬුම් වලින් එම සැංදෑව රසවත්ව තිබිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරු අප එහි ‍රැදී සිටියෙමු. රාත්‍රියේ මාගේ නේවාසිකාගාරයේ දොරකඩ අසලමට ඇයගේ රියෙන් මා අරලවා ලන්නට පැමිනිනි. වසරකට ආසන්න කාලයක් පුරාවට පැවති අපේ මිතුදම සදහා විරාමයක් කරා පැමින තිබුනෙමු. මිතිරන් ලෙසට හමුවූ අප මිතුරන් ලෙසටම සමුගෙන යා හැකිව තිබිනි. “ජීවිතය අපූරු අත්දෑකීමකි.” එදින රාත්‍රියේ එම මිතුදම ගැන සංෂිප්ත සටහන වචන දෙක තුනකට ගොනු කර තැබුවෙමි.
(By Pubudu Siriwansa)