2011-03-06

දහම එක් අතකින් අර මුරකරු දැල්වූ පහන් බුබුලු වල ආලෝකය නැවත .............

සිතම මත කලක් අකීකරුව දුව ඇවිදුනු ලද මතකයන් මේ වනවිට සිතේ ඈත කෙලවර යාන්තමට සක්මන් කරන සෙවනැලි සේ විටින් විට සිතේ අවධානය යාන්තමින් පැහැර ගනී. කලක් ඊයම් ගුලියක් සේ මහත් බරට සිත හරහා ගමන්කරන්නාක්සේ දැනුනු මතකයන් කුඩා පුලුන් රොදක් සේ කලාතුරකින් සිත මතුපිටට පැමින් මොහොතක් දෙකකින් නොපෙනී යන අයුරු හරිම අපූරුය. මිනිසුන් මතක ගොන්නක සිරකරුවන් වියයුතුමදැයි මම මගෙන්ම විමසමි.අවසන් වරට මා සේවය කරමින් සිටි විශ්වවිද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩු මහලේ වූ දේශන ශාලාවේ දවසේ අවසාන දේශනයෙන් පසුව අදුර මුලුමනින්ම වෙලා ගන්නා තුරු ඈතින් පෙනෙන මුහුදු වෙරළේ සිදුවන බොහෝ දේ දෙස බලා සිටින්නට මාතුල වූ හුරුව නැවතත් මතකයට නැගේ. අබුසැමියන් තම දූ දරුවන් සමග විනෝදවෙයි. පෙම්වතුන් දැත් පටලාගෙන ඔබනොබ ඇවිදින්නේ අද අදුර නොපැමිනෙන්නේ නම් මොන තරම් හොදදැයි කියන්නාක් මෙනි.තවත් තැනක තරුනයින් කිහිප දෙනෙකු මදුවිත තොලගාමින් කථා බහකය. කලාතුරකින් තැනක තනිවුනු තරුනයෙකු අහස පොලව ගැට ගසන්නට  හොදම විදිය සොයනවාසේ බර කල්පනාවකය.සිය ගනනකගේ කිසිදු සිතුවිල්ලක් ගනන් නොගන්නා රත්පැහැ ගත් සැදැ හිරු මඩල අනන්ත මහසයුරේ දිය ‍රැලි අතර සැගව යන යුරු බලා සිටින විට ජීවිතය ගැන මහත් අවබොදයක් සිත මතට උදාවෙයි.අවසානයේ පැමිනෙන මුරකරු මා එහි සිටින බව දන්නා නිසාම ශාලාවේ විදුලි පහනක් දෙකක් දල්වයි. දහම එක් අතකින් අර මුරකරු දැල්වූ පහන් බුබුලු වල ආලෝකය නැවත පැමිනිමක්සේ විටක මට සිතේ.