2016-03-30

පනස් හතර වන කොටස


         ලොව යනු බැදීම් ගොඩකි. බෑදීමක් යනුම සමුගැනීම නම් න්‍යෂ්ටිය වඩා ගොඩ නැගෙන යමකි. ආශ්‍රමය, ලොකුසේවාමීන් වහස්සේ, ටිබෙටියානු මිතුරා, ගබඩා භාරකරු වැනි සිත ප්‍රියකරන පරිසරයෙන් නැවත සමුගන්නට සිදුව ඇත. හිරු අවදියත් සමග මගට වන් නිසා හිරු කෙඳි දැඩිවන්නට පෙර ගම්මාන කදු වැටිය පසුකරන්නට හැකිවිය. සමහර විටක මේ අපූරු පරිසරය කෙදිනක වත් යලි හමු නොවනු ඇත. එහෙත් යලි හමුවන්නටනම් සමුගන්නටම වනු ඇත. ආසන්නයේම එලබෙමින් ඇති ගිම්හානයේ සුපුරුදු නගරයේදීම හමුවන්නට නගරයට ගිය විගස ගිවිසාගන්නට සැලසුම් කලෙමි.
ඇය Email පනිවිඬයක් ඔස්සේ පෙරමග බලා සිටින බවට දන්වා තිබිනි. එලබෙන දෙවන සතියේ එම නගරය වෙතට යන්නට අවශ්‍ය ගුවන් පත් පහසුවෙන්ම වෙන්කරවා ගන්නට හැකිවීම සිත තුල මහත් ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කලේය. මෙම නගරයේදීම එලබෙන පලමු සතිය ගතකරන්නට සුදුසු නිහඬ පරිසරයක වන නවාතැනක් එම සතිය සදහා වෙන් කර ගත්තේ දල සටහන් තබන්නට වඩාත් කාලය නොගත යුතු යැයි සිත බලකරන්නට වූ බැවිනි. පසකින් ගංගාවත් අන්දෙසින් විශාල වගා බිම් සහිත නගරයට මද දුරක් ඔබ්බෙන් වූ තාවකාලික නවාතැන සිත සංසුන්ව මුල් සටහනට අවශ්‍ය පරිසරය නිතැතින්ම ගෙනවිත් තිබිනි.
“මෙම සටහනෙහි අවසානය මමද නොදනිමි. මෙහි තැගෙන වදනින් වදන මමද ඔබ සමග මෙහි කියවෙන ගම් වැසියන්ගේ අර්ථය සොයා යන්නට උත්සාහ කරමින් සිටින්නෙමි. විටක මාගේ අවිනිශ්චිත භාවය ගැන නොසතුටට පත්වනු ඇත. එහෙත් සත්‍යය එයය. විටක එය අද අප හොඳින් විඳිමින් සිටින තාක්ශනය විද්‍යාව ඇසුරින් පැහැදිලි කරගන්නට හැකි වනු ඇත. තවත් විටක දේශපාලනය, දර්ශනයන් වැනි විෂයන් ඔස්සේ ඒ දෙස බලන්නට අවශ්‍ය වනු ඇත. සමහර විටක අද ඔබ මා විඳිමින් සිටින මේ සමස්ථ පතයෙන් ඔබ්බට චලනය වන්නට අවශ්‍ය වනු ඇහි බවට මා අනුමාන කරන්නේ දැනට අපසතු දැනුමින් මේ සමහර දෑ තේරුම් ගන්නටව් අපට හැකි වෙතයි මා අවිස්වාස කරන බැවිනි.” නගරයේදී ඇය හමුවූ විගස ඇය අත තබන්නට නියමිත මුල් සටහන එලෙස ආරම්භ කලෙමි. “අප සිතනා තරම් ප්‍රබලයන් වන්නට අඩුතරමින් මේ මිහිකතට වත් සාපේක්ශව අපට නොහැකිව තිබේ. මෙහි වන සමහර බලයන් හමුවේ පවා අප තවමත් අති දුබලයන් මෙන් අසරනව යයි. ඒ සදහා අද අප විඳිමින් සිටින ධනය හා බලය මත ‍රැදෙන මිනිස් සංස්කෘතියෙන් ඉදිරියට තල්ලු වන්නට අවශ්‍ය වනු ඇත.”
www.tharuminisa.com