2014-10-24

ජිවිත සංචාරය ගැන සටහන් තබා යන්නට හැම සංචාරකයෙකුටම වගකීමක් තිබෙනවා කියලා..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (37)

   අහස් කුස අපූරුය. ආධුනික චිත්‍ර කර්මය හදාරන්නට පැමිනියෙකු ගුරුතුමාගේ පමාවකින් තෙලිතුඩ  කැන්වසයක් මත ඔහේ  හැසුරුවා වැනිය. සුසුදු වලා කැටිති අපිලිවලකට විසිරී ඇත. ඊසාන දිසාවට වන්නට කඳු පෙල අතර තැනි තැන පෙනෙන දිය සීරාවන් බොහෝ සෙයින් කුඩා වී ඇත. දැඩි හිරු කෙඳි වෙහෙස සියත්  හඬ පාලනය කර ඇතුවා සේ මහත් නිහඬ බවක් ගෙනැවිත් ඇත. විටක අප පාතබන හඬ ඇරෙන්නට දැඩි නිහැඬියාවක් හාත්පස වේ. 
                  "තේරුම් ගන්නට බැරි දේ බොහෝ අප අවට තිබෙනවා. අප කරන්නේ ඒවා මග හරිමින් සුපුරුදු මාවතේම නිතරම ගමන් කරන්නට උත්සාහ කරනවා වගෙ වැඩක්. හරියට අර එහා ගම්මානයේ ගොපලු තරුනයින් ‍රැගෙන එන සතුන් රෑන් වගේ. අපිත් සීමාකරගෙන ඇති කුඩා දැනුම් වපසරියක් ඇතුලේ සිර වෙලා කුඩා උන් වගේ සෙල්ලම් කරනවා වගේයි කියලා මට හිතෙනවා." ටිබෙටියානු මිතුරා පැහැදිලි කරමින් සිටී. "අපේ හැසිරීම් , මම කියන්නේ දේශපාලනය, ආගමික අනන්‍යතා ගැටලු, ආර්ථික ආක්‍රමන වගේ දේවල් දිහා මදක් ඉහල සිට බලන්නට උත්සාහ කලොත් පෙනේවි මොනතරම් විහිලුවකද අපි මේ තරම් බරපතලව යෙදිල ඉන්නේ කියලා".  ඔහු විමසුම් මනස ප්‍රබෝධමත් වී ඇතුවා සේය. මෙම තීව්‍රතාවය සමග නැවත අධයාන ජීවිතයට ඇතුලු වන්නට බොහෙවින් ඉඩ කඩ තෙබෙන සේ මට හැගෙයි.
             "ඔබ අතරමං වෙලා වගේ" ඉදිරියෙන් යමින් සිටි ඔහු මදක් නැවති  සිනා මුසු මුහුනින් පවසයි. "ඉස්සරනම් ඔබ මේ වගේ කරුනු එක්ක හරිම ප්‍රබෝධයෙන් හැසිරුන කෙනෙක්. අද මේ තරම්  අලස වුනේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ." ඔහු දිගටම පවසා ගෙන යයි. "හරියට අහිමි වෙලා තිබුනු යතුරක් හදිස්සියේම හමුවෙලා යලිත් අහිමි වෙලා වගෙ මට දැනෙනවා. ආපසු යායුතුයි. කෙටි ආශ්‍රම  විවේකයක් ගෙන ආපසු යායුතුයි. අපි එකතුවෙලා අපූරු දේ කිහිමයක් නිමකල යුතුයි. අපූරු වෙතැයි මම විස්වාස කරන පොත්පත් දෙක තුනකටම අලුතින් අත ගසන්නට කාලය පැමිනිලා වගේ මට හිතෙනවා. ඔබ දනවනේ මගේ ජීවිත තේමාව. මේ පූරු ජිවිත සංචාරය ගැන සටහන් තබා යන්නට හැම සංචාරකයෙකුටම වගකීමක් තිබෙනවා කියලා"මම පැවසීමි.
                                                                                 Pubudu Siriwansa